Sunday, June 11, 2017

හිත පාලනය කිරීම මෙතරම් අපහසු ඇයි..එය පාලනය කළ හැක්කේ කෙසේද..?

🍁 අවසරයි ස්වාමීන් වහන්ස, ස්වාමීන් වහන්ස ධර්මයේ හැසිරෙනවා කියන්නෙ මට නම් තෙරෙන විදියට හිත පාලනය කරගැනීමට පුරුදු කිරීම. නමුත් මේ හිත කොහොමටවත් ම අපේ පාලනයේ නැහැ. සමහර වෙලාවට යම් යම් දේවල් සිදුවුණා ම අපට හිතෙනවා අදින් පස්සෙ නම් මං මේ දේවල් කරන්නේ නැහැ කියලා. හැබැයි මේ හිතේ චපල භාවය මොනතරම් ද කියනවනම් ඒ විදියට අපට ඉන්න දෙන්නේ ඉතා ම පුංචි කාලයක්. හිත ආපහු අපව පුරුදු තැනටම අරන් යනවා. ස්වාමීන් වහන්ස ඒ මේ හිත අපි කොහොමද පුරුදු කරන්නේ. අපි පටන් ගත යුත්තේ කොතනින්ද ?

ඒ කථාව නම් ඇත්ත තමයි.. ඔය කියන කථාව හැම දෙනෙක්ට ම තියෙන කරදරයක්. අපි මේක තේරුම් ගන්න උදාහරණයකින් ම කථා කරමු. අපි හිතමු අපි වැඩියෙන් ම ලෙන්ගතු කෙනෙකුට අපිට හොඳටම තරහ ගිය වෙලාවක හිත රිදෙන්නම බනිනවා. බැනලා ටික වෙලාවකින් ම කව්රුත් අපට මතක් කිරීමකින් තොරවම අපේ ම හිත ඇතුළින් පණිවිඩයක් එනවා මේ කරපු වැඩේ වැරදියි. අපරාදේ මං අර විදියට කිව්වේ. මට එහෙම නොකිය ඉන්නයි තිබුණේ. ඉන්නකො මං ආයි නම් ඔය වගේ නරක දේවල් කියන්නේ නැහැ කියලා. හොඳට කල්පනා කරලා බලන්න කව්රුත්ම මතක් කරලා දීලා කියලා දීලා එහෙම නෙවෙයි මේ බව අපේ හිතට දැනෙන්නෙ. අපේ හිතින්ම මේක නැගිලා එනවා. ඒ වගේ වෙලාවට අර වගේ දැඩි තීරණ ගන්නවා. ඉන්නකො මං ආයි නම් කරන්නෙ නැහැ කියලා. හැබැයි ඒ වගේ ගත්ත තීරණ වැඩි කාලයක් පවතින්නෙ නැහැ. ඉක්මණටම අමතක වෙලා වගේ, බොඳවෙලා වගේ යනවා. එහෙම නේද? මේ බලන්න. එක සැරයක් තමන්ගේ විභාගය අසමත් වුණ දරුවෙක් හිතනවා ඉන්නකො මං ඊළග පාර කරන හැටි පෙන්නන්න. මං දන්නවා සමත් වෙන විදිය කියලා. නමුත් ඒ අධිෂ්ඨාන බොහෝම ටික දවසයි. එතකොට ඇයි මේ කියලා අපි කල්පනා කරන්න  ඕන. අපි ගත්තොත් එහෙම අපේ පැත්තෙන්, බලන්න අපි යම් කිසි අරමුණකට අපේ ජීවිතේ යනවනම්, එයට කව්රුහරි බාධා කරනවනම් එයා තමයි අපේ පරම හතුරා. අපේ හිත අරගෙන බලන්න. මගේ අරමුණට යන්න මට වැඩියෙන් ම බාධා කළේ කව්ද? අම්ම තාත්ත ද, සහෝදරයො ද, ඥාතින් ද ? නැහැ අපේ හිතමයි අපට බාධා කළ පරම හතුරා. පාඩම් කරන්නෙ නැතිව නිදියන්න කිව්වේ මගේ හිත. රූපවාහිනිය බලන්න කිව්වේ මගේ හිත. එක එක වැරදි පැතිවලට යන්න කිව්වේ මගේ හිත. එහෙම නේද...? මගේ හිත කියපු විදියටයි මං මේ හැම දේ ම කළේ. ඒ කියන්නෙ අපි අකමැති දේවල් කෙරෙන, අපේ පාලනයෙන් තොර තත්වයක් අපේ හිතේ තියෙනවා. එහෙනම් කොහොමද අපි අපේ හිත පාලනය කරන්නෙ.

       මෙන්න මේ කාරණය හොඳට කල්පනා කරලා සිහියේ තියා ගන්න  ඕන. මේ  ඕලාරිකව තියෙන ශරීරය සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නේ හිතින්. හිතේ නැගෙන සිතිවිලි වලට අනුව තමයි අපි හිනාවෙන්නේ, අඬන්නේ, කථා කරන්නේ, ඇවිදින්නේ. මේ කිලෝ 60ක් විතර බර ශරීර කූඩුව අපි පුළුන් රොදක් වගේ එහාට මෙහාට අරන් යන්නේ අපේ මේ චිත්ත බලය නිසා. යම් වෙලාවක මේ හිත මේ කයින් නිරුද්ධ වුණොත් එතනින් එහා මේ ශරිරය හෙලවෙන්නෙ වත් නැහැ. ඊට පස්සේ මේක උස්සන් යන්න හතර පස් දෙනෙක් වුවමනා වෙනවා. හිතේ නැගෙන සිතිවිලි වලට අනුරූපීව තමයි හැම දෙයක්ම අපි කරන්නේ, කියන්නෙ. එතකොට හිතේ නැගෙන සිතිවිලි ප‍්‍රධාන වශයෙන් කොටස් 02 ක් පෙන්වන්න පුළුවන්. ඒ තමයි කුසල් සිත් සහ අකුසල් සිත්. (රහහන් වහන්සේලා ට කුසල් හෝ අකුසල් සිත් පහළ නොවන අතර උන්වහන්සේලා ට පහළ වන සිත් වලට ක‍්‍රියා සිත් යැයි කියනු ලැබේ) යම් හිතක කුසලයක් පහළ වුණ වෙලාවට ඔවුන් යහපත් වැඩ කරනවා. අකුසල් සිත් පහළ වුණ වෙලාවක තමන්ගේ මව වුණත් මරන්න පුළුවන්. එහෙනම් දැන් කල්පනා කරලා බලන්න  ඕන, 
අපි ක‍්‍රියාත්මක වෙන්නෙ අපේ හිතේ නැගෙන සිතිවිලි වලට අනුව නම්, ඒ සිතිවිලි අපේ හිතේ හැදෙන්නේ කොහොමද කියන එක. හොඳට මතක තියාගන්න  ඕන. අපි හිතලා අපේ හිතේ සිතිවිලි ඇති කරගන්නේ නැහැ. ඒවා ඇතිවෙන්නේ අතීතේ අපි මනසිකාරය කරපු විදියට. ඒකට කියනවා ආශ‍්‍රව කියලා. අතීතයේ යම් යම් දේවල් ඇසුරු කරපු විදියට තමයි අපේ හිතේ සිතිවිලි පහළ වෙන්නෙ. දැන් බලන්න. මම කියනවා දූරියන් කියලා. මොකද වුණේ. අතීතයේ දූරියන් පිළිබඳව කැමත්තෙන් මෙනෙහි කරලා තිබුණ නම් ඔවුන්ට ඒ පිළිබඳව කැමැත්තක් ඇති වෙනවා වගේ ම අකමැත්තෙන් මෙනෙහි කරපු ඇත්තන්ට දැනෙන්නේ අකමැත්තක්. එක ම පළතුර වුණාට හිත්වල නැගුණ සිතිවිලි එකිනෙකට සාපෙක්‍ෂයි. එක එක්කෙනාට තමන් ඇසුරු කරපු විදියටයි හිතේ සකස්වීම කියන එක සිද්ධ වෙන්නෙ.

එතකොට අපි මේ අනවරාග‍්‍ර සංසාර ජීවිතය ගෙවාගෙන එනකොට වැඩි පුරම මේ ලෝකය ගැන කල්පනා කරලා, මෙනෙහි කරලා තියෙන්නේ අකුසල් මූලික සිත් වලින්. ඒ කියන්නේ රූප, ශබ්ද ආදී බාහිර අරමුණු දැකලා ඒ දේවල් නිත්‍ය යි, සැප යි, සුන්දර යි, ආත්ම යි කියලා තමයි අපි කල්පනා කරලා තියෙන්නෙ. ඒ මේ වැරදි මනසිකාරයේ බලවත් කම නිසා ම අදටත් අපිට මේ කුණු වෙන ගඳ ගහන ශරීර දැකලා පවා ඇති වෙන්නේ සුභ සංඥාවක්. දැන් බලන්න මට මතකයි මං ගිහි කාලේ එක්තරා ස්ථානයක මළ මිනියක් දූෂණය කරලා කියලා අපට දැනගන්න ලැබුණා. බලන්න විපරිත වෙච්ච සංඥාවක තියෙන ස්වභාවය. ඔන්න ඔය කියපු අකුසලය කියන පදනම මත ඉඳගෙන, එහෙමත් නැත්නම් ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් බර ව ලෝකය පිළිබඳ ව මනසිකාරය කරපු නිසා අදටත් මේ හිතේ සකස් වන සිතිවිලි අකුසලයට බර ව ම යි සකස් වෙන්නේ. සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ නමක් දැක්කත්, ධර්මය අරගත්තත්, සමහර වෙලාවට බුදුරුව දැකලා පවා මේ හිත් වල ඇති වෙන්නෙ අකුසල්. ඔවුන් තමයි ඔය ධර්මය අරගෙන වාද විවාද කර කර ඉන්නේ. තමන්ගේ මාන්නය කියන අකුසලය අඳුරගන්න බැරිව. ඒක බාහිර අරමුණේ තියෙන වැරද්දක් එහෙම නෙවෙයි. තමන් සංසාර ජිවිතයේ මෙනෙහි කරලා තියෙන වැරද්ද.

ඔන්න ඔය කාරණාව නිසා තමයි අර වගේ අපි ආපහු පරුෂ වචන කියන්නේ නැහැ, රණ්ඩු වෙන්නෙ නැහ කියන යහපත් අධිෂ්ඨාන ගත්තට ඒවා පවත්වා ගන්න බැරි. සසරෙ වැඩි කාලයක් පුරුදු කරපු අයහපත් සිතිවිලි යහපත් සිතිවිලි යට කරගෙන නැගිලා එනවා. දෙන්නෙක් රණ්ඩු වුණොත් ජය ගන්නේ ශක්තිය වැඩි පුර තියෙන කෙනයි. අන්න ඒ වගේ කුසල අකුසල සටනින් නිතරගයෙන් ම අකුසලය ජය ගන්නවා. ඇයි අපි සසරේ වැඩි පුරම මේ හිත පෝෂණය කරලා තියෙන්නේ, ශක්තිමත් කරලා තියෙන්නෙ අකුසලයෙන්. මේක අපේ අදහසක් එහෙම නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේ ම  දේශණා කරලා තියෙනවා, ''තස්මාතිහ භික්ඛවේ, භික්ඛුනා අභික්ඛණං සකං චිත්තං පච්චවෙක්ඛිතබ්බං දීඝරත්තමිදං චිත්තං සංකිලිට්ඨං, රාගේන, දොසේන, මොහේනාති'' (ස.නි - ඛන්ධක වග්ග, දුතිය ගලබද්ධ සූත‍්‍රය) යි කියලා මහණෙනි මේ මහණුන් නිතර තමන් ගේ හිත මේ දීර්ඝ වූ සසර පුරාවට රාග ද්වේෂ ආදි අකුසල ධර්මයන් ගෙන් වෙලී ආ බවට ප‍්‍රත්‍යවේක්‍ෂා කළ යුතු බව.     

       එතකොට අපි දන්නවා අකුසල සාධාරණ චෛතසික ධර්ම 04 ක් තියෙනවා. මෝහ, අහිරික, අනොත්ප්ප, උද්ධච්ච කියලා. ඒ කියන්නේ අකුසල සිතිවිල්ලක් ආවහම ඇත්ත වැහිලා යනවා. මං පරුෂ වචන කියන්න හොඳ නැහැ නේද කියන කාරණාව අමතක වෙලා යනවා. ඒකට කියනවා මෝහය කියලා. ඊළගට හිරි ඔත්තප්ප කියන ලැජ්ජා බය කියන ධර්මතා නැතිවෙලා යනවා මේ හිතේ. අපායට, නීතියට බය නැතිවෙනවා. හිරේ ගියත් කමක් නැහැ මේකට ගහලා කියලා ගහන්න පනිනවා අපි  ඕන තරම් දැකලා තියෙනවා. ඉන්න තැන අමතක වෙනවා. උද්ධච්ච කියන්නේ නොසන්සුන් වෙනවා. මෙන්න මේ ඇත්ත වැහෙන, ලැජ්ජා බය නැතිවෙන නොසන්සුන් ගතිය කියන චෛතසික ධර්ම 04 තමයි අපේ අධිෂ්ඨාන බිඳගෙන අපිව යට කරගෙන අපිව අකුසලයට ඇදලා වැරද්දට ඇදලා දාන්නේ.
මෙන්න මේ ක‍්‍රියාකාරීත්වය මනා ව අඳුරගන්න  ඕන. නැත්තම් අතපය බැඳලා තිබ්බත් වැඩක් නැහැ අකුසල් මනෝ භාවයන් සකස් වෙන එක පාලනය කරගන්න බැහැ. බලන්න පුංචි කාරණයක් කියන්නම්.

අපි හැමෝම වැරදි වලට යොමු වෙන්නේ අපේ සීමාව පැන්නාම. මේ වචනය හොඳට මතක තියාගන්න  ඕන. සීමාව.  නැද්ද බලන්න. අපිට තරහ ගිහිල්ලා රණ්ඩුවක් වෙලා නැවත ගෙදර ඇවිල්ලා අපි ඒක විස්තර කරන්නේ කොහොමද? 'මං ඉවසුවා ඉවසුවා උපරිම. ඉවසලා ඉවසලා බැරි ම තැන මගේ සීමාව  පැන්නා. ඉතින් මං ගැහුවා. බැන්නා. මට මොනව වුණාද කියල මං දන්නේ නැහැ'. බලන්න මෙහෙම තමයි අපි විස්තර කරන්නේ. එහෙනම් සීමාව පැන්නා ම තමයි අපේ පාලනයෙන් මේ හිත මිදුණේ. එහෙනම් වරදින් මිදෙන්න අවශ්‍ය අපි, මෙන්න කළ යුතු දෙයක් තියෙනවා. ඒ තමයි මේ කියපු සීමාව පනින්න දෙන්නෙ නැතිව අපේ හිත අපි රැක ගන්න  ඕන. අන්න ඒ සීමාව කියන එක ධර්මයේ තියෙනවා පරිවුට්ඨාන අවස්ථාව කියලා. පැන්න අවස්ථාවට කියනවා ව්‍යතික‍්‍රමණ අවස්ථාව කියලා. ඒ කියන්නේ සිල් බිඳෙන අවස්ථාව. ඒ අකුසල් සීමාව (පරිවුට්ඨාන අවස්ථාව) පනින්න දෙන්නේ නැති ව හිත පවත්වා ගන්න පුළුවන් නම් කිසිම ප‍්‍රශ්ණයක් නැහැ. අපි අකුසලයට නතු වෙන්නේ නැහැ. හැබැයි ඒක කරන්න නම් අනිවාර්යෙන්ම භාවනාවක් කියන එක හිතේ වර්ධනය කර ගන්නම  ඕන. භාවනාව කියන්නේ කුසල ධර්මයන් ගේ වැඩීම සහ භාවිතා ව යි. ''කුසල ධම්මෙ වඩ්ඩේති භාවේතීති භාවනා'' කියලා කිව්වෙ ඒකයි. අකුසලය කියන පුරුෂයාව සසරේ පෝෂණය කළා වගේ ම දැන් අපි මොකද කරන්න  ඕන කුසලය කියන පුරුෂයා ව පෝෂණය කරන්න ඕන. අර අකුසලය කියන හිතත් එක්ක සටන් කරන්න පුළුවන්  මට්ටමට ම කුසල හිත වර්ධනය කරන්න  ඕන.  ඕක කරගන්නෙ නැතිව නම් දරුවො කිසිම විදියකින් අධිෂ්ඨාන කරලා නම් මේක කරන්න බැහැ. එතකොට මෙහෙම පාලනය කරලා කරලා අවසානයේ අකුසල් ධර්ම නැගිලා එන්නෙ නැති මට්ටමට ම හිත හදන්න  ඕන. එකට තමයි කියන්නේ රහත් භාවය කියලා. අරමුණු ඉස්සරහ අකුසල් හිත් පහළ වෙන්නෙ නැහැ නෙමෙයි. පහළ වෙන්න අකුසල් හිත් ඒ සන්තාන වල හැදෙන්නෙ නැහැ. ඒ සඳහාත් කළ යුත්තෙ භාවනාව ම යි. අර යම් මට්ටමකට පාලනය කරගත්ත භාවනාව ම තවත් ගැඹුරුවට ම විදර්ශනාව ට ම හරවලා මේ සියුම් අකුසල් ධර්ම හෙවත් සංයෝජන ධර්ම ප‍්‍රහාණය කරලා දාන්න පුළුවන්. ඒකට කියනවා ධර්මයේ අනුශය අවස්ථාව කියලා. ඒ පිළිබඳ ව ඉදිරියේ දී කථා කරමු.

      එතකොට දැන් තේරෙනවා නේද අකුසලයට යට වෙන එක නවත්තන්න අධිෂ්ඨාන මාත්‍රයෙන් බැහැ..ඒ අකුසලය යට වෙන තරම් ප්‍රබල කුසල් සිතිවිල්ලක් සන්තානගතව නැගිලා එන්න ඕන. උදාහරණයක් කියනවනම් ද්වේෂය කියන අකුසලයෙන් වැඩිපුරම බාධවෙන කෙනෙක් ඉන්නවනම් එයා මෛත්‍රිය කියන කුසල් සිතිවිල්ල වැඩි වශයෙන් පුරුදු කරලා, භාවිතා කරලා අකුසල් සිතිවිල්ල ප්‍රහාණය වෙන තරමටම වර්ධනය කරගන්න ඕන. එවිට ඔහුට අධිෂ්ඨාන කර කර ඉන්න අවශ්‍ය නැහැ..අසංවර ක්‍රියාවක් සිදු වෙන තරම් ප්‍රබල සිතිවිල්ලක් එයා තුළ නැගිලා එන්නෙ නැහැ..මෛත්‍රිය කියන කුසල සිත එයාගේ අකුසල් සිත යට කරලා දානවා.. මේ සඳහා කළ යුත්තේ භාවනාවමයි..එයින්මයි මේ ගැටළුවට පිළිතුරු ලැබෙන්නෙ..

       ඉතින් මේ ගැන කියන්න තව කරුණු බොහෝමයක් තියෙනවා. ඉදිරියේ දී හිමිහිට ඒවා තේරුම් කරලා දෙන්නම්. විශේෂයෙන්ම සිහිපත් කරනවා. ඉදිරියේදී සතිපට්ඨානය ගැන ඉතා ප්‍රායෝගිකව අපි සාකච්ඡා කරන්න බලාපො⁣රොත්තු වෙනවා. ඒ ටික හිමිහිට බලන්න. ඔබට සිත ගැන පුළුල් අවබෝධයක් ලැබේවි.. ඔබට උතුම් ධර්මාවබෝධය ම වේවා යි පතමි.

මේ උතුම් ධර්ම දානයේ ආනිශංස වාරය පිංවන්ත ස්වාමින් වහන්සේ ගේ නමින් මිය පරලොව යන්නට යෙදුණ සියළුම  ඥාති හිතමිත‍්‍රාදීන්ටත්, සූජීවත් ව වාසය කරන හෑම සියළු දෙනාටමත් ඉක්මන් භවයකදී ම උතුම් නිර්වාණාවබෝධය පිණිස ම හේතු වේවා යි ප‍්‍රාර්ථනා කරමි. ඔබ අපි සියළු දෙනාටම ද, පිංවන්ත ස්වාමීන් වහන්සේ ට ද ප්‍රාර්ථනීය  බෝධියකින් සැප ප‍්‍රතිපදාවෙන් ම උතුම් ධර්මාවබෝධය ලැබීමටත් 
පාරමී බලයක් ම වේවා, යි  පතමු.
සාධූ...සාධූ...සාධූ...








No comments:

Post a Comment