Tuesday, May 30, 2017

සුගතිය නැති කරන, දුගතිය හිමි කරන "තරහව" ගැන හැමදේම ......

මෛත්‍රී භාවනා ලිපි අංක - 01


(ගෞරවණීය ස්වාමීන් වහන්සේ සමග පැවත් වූ ධර්ම සාකච්ඡාවකි)


🌟 අවසරයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස, අපට තියෙන ලොකුම ප්‍රශ්ණයක් තමයි මේ තරහ කියලා කියන්නේ. ඔබ වහන්සේට හිතෙන විදිය⁣ට මේ තරහ කියලා අර්ථකථනය කරන්නෙ මොකද්ද ? 

       සාමාන්‍ය ලෝකයේ සත්වයා ඇස, කන, නාසය ආදී ඉන්ද්‍රියන් හරහා ලෝකයත් එක්ක හැසිරෙන කොට තමන් කැමති අරමුණු වල ඇලෙනවා. ඒකට කියනවා ලෝභය කියල. තමන් කැමති නැති අරමුණු වල ගැටෙනවා. ඒකට කියනවා ද්වේෂය හෙවත් තරහව කියලා. ඒක තම තමන්ගේ සංසාර ජීවිතය තුළ තමන් වැඩියෙන් ම ඇසුරුකළ දේවල් වලට අනුව තමන්ගේ ම හිත් තුළ නැගිලා එන ධර්මතාවයක්. ඒවට තමයි ආශ්‍රව කියලා කියන්නෙ.



 ඒ කියන්නේ ඔවුනොවුන් සංසාර ජීවිතය තුළ පුරුදු කරගත්, ඇසුරු කරගත් ධර්මතාවයන් මත ඉඳන් තමයි ඔවුන් සමුමුති ලෝකය විනිශ්චය කරගන්නෙ. අන්න ඒ දැක්මේ පරාසය අනුව තමයි සත්වයා ලෝකයට ගැටෙන්නේ. උදාහරණයක් විදියට අපි දූරියන් කියන පළතුර ගමු. සමහරු මේකට ගොඩක් කැමතියි. එ් වගේම සමහරු මේකට ගොඩක් අකමැතියි. ඒ කැමත්ත අකමැත්ත ඔවුනොවුන් දූරියන් පිළිබඳව ඊට පෙර කළ මනසිකාරය හේතුවෙලයි හටගන්නේ. ඉතින් යම් තැනක දූරියන් තියෙනවනම්, එතන ඉන්න දූරියන් පිළිබඳව කැමැත්තෙන් මනසිකාරය කළ කෙනා ඒකට ඇලෙනවා. අකමැත්තෙන් මනසිකාරය කළ කෙනා එතනදි ගැටෙනවා. මේක හරිම පීඩාවක්. හැම තිස්සෙම ඔය අන්ත දෙකෙන් එකකට වැටිලා අසහනයෙන්, අතෘප්තියෙන් තමයි ජීවත් වෙන්නෙ. ඔවුන් ස්වභාවධර්මය ඉක්මවන්න හදනවා. ඇත්ත තත්වය අවබෝධ කරගෙන ඊට අවනත නොවී තම තමන්ගේ මතවල පිහිටලා එයම නිවැරදියි කියලා ඔප්පු කරගන්න උත්සහ කරනවා. තිරිසනාට පවා මේ පීඩාව තියෙනවා. මේකට ප්‍රධාන හේතුව තමයි විශේෂයෙන්ම, තමන් කැමති විදියට මේ ලෝකය පවත්වා ගන්න උත්සහ කිරීම. "සබ්බේ ධම්මා අනත්තා" කියන බුදුන් වහන්සේ ගේ පණිවිඩය (සංස්කාර හෙවත් හේතූන්⁣ නිසා සකස් වූ ලෝකය තමන්ට වුවමනා විදියට පවත්වා ගත නොහැකි බව) තාම සත්වයන්⁣ට දැනිලා නැහැ. ඉතින් මැරෙනකම්ම ඒ අය තමන් කැමති විදියට ලෝකය පවත්වා ගන්න උත්සහ කරනවා. නමුත් ඒක කවරදාකවත් කරන්න පුළුවන් කමක් නැහැ කියලා බුදු පියාණන් වහන්සේ දේශණා කරනවා. ඉතින් ඒ ⁣ලෝක ධර්මතාවයට අනුගත වෙන්න, ඒ ධර්මතාවය පිළිගන්න අකමැති අය තමන් වසඟයේ ලෝකය පවත්වා ගන්න උත්සහ කරනවා. එහෙම බැරි වෙනකොට තරහ ගන්නවා.

🌟එහෙමයි ස්වාමීන් වහන්ස. ස්වාමීන්වහන්ස, නමුත් සාමාන්‍ය ලෝකේ ජීවත් වෙනකොට අපේ මෛත්‍රිය පවත්වගන්න අපට පුළුවන්කමක් නැහැ. පුදුම විදියට තරහ ඇතිවෙනවා. ඒකට හේතුව මොකක්ද ?


      මේක විශාල පරාසයකින් පිළිතුරු දිය යුතු ප්‍රශ්නයක්. මුලින්ම අපි  දැන ගන්න ඕන භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය අ⁣පේ හිත සහ කය පිළිබඳව තිබුණු සියලු ම ගැටළු ටික ලිහුවා.⁣ මොකද මේ හිත සහ කය පිළිබඳව නිවැරදි  දැක්මක්, නිවැරදි  ආකල්පයක් ඇතිකර ගැනීමම යි නිවන් දකිනවා කියලා කියන්නේ. ඇත්ත තත්වය අවබෝධ කර ගැනීමම යි නිවන කියන්නේ. මේ ගැටළුව ගැන කෙටියෙන් කථා කළොත්, අපි දන්නවා මේ ලෝකේ සමහරු ඉන්නවා, ඒ අයට මෛත්‍රී  සංකල්පයක් ඇති කර ගැනීමටවත් වුවමනා නැහැ.  ඒකට කියනවා නුවණ නැතිකම කියලා. ඒ කියන්නේ ඒ අයට ලෝකයත් එක්ක ම සමාන වූ මිත්‍රශීලී හැගීමක් ඇති කර ගැනීමේ  වටිනාකම තේරෙන්නේ නැහැ. ඒ වගේ ම නිරතුරුවම තරහ හිතකින් වාසය කිරීමේ ආදීනව ඒ අය දන්න නැහැ. ඒ කෝපය දුරු කිරීමෙන් සංසාර ජීවිතය පවා සුවපත් වෙනවා නේද කියන කාරණය ඒ අය දන්නෙ නැහැ. ඒ අයට එහි අවශ්‍යතාවයක් නැහැ. ඒකයි නුවණ නැතිකම කියලා කිව්වේ. අශෘතවත් පෘතජ්ජනයා කියන්නේ එයාටයි. නමුත් ධර්මය ශ්‍රවණය කරපු බෞද්ධ පිංවතුන් පැහැදිලිවම මෛත්‍රියේ තියෙන වටිනාකම දන්නවා. තරහ පාලනය කරන්න ඕන. මේක හොඳ නැති එකක් කියලා දන්නවා. හැබැයි තරහ යන දේවල් සිද්ධ වෙනකොට, ඒ කියන්නේ ලෝකයා අපි කැමති නැති දේවල් කරනකොට අපිට අපේ මෛත්‍රිය පවත්වා ගන්න බැහැ. තරහ පාලනය කරන්න බැහැ. ඒක එක්තරා මනෝ භාවයක අඩුවක් විදියටයි ධර්මයේ සඳහන් වෙන්නේ. ඒකට කියනවා සිහිය නැතිකම කියලා. ඔන්න දැන් බෞද්ධ පිංවතුන්ට තමන් ගැන සිහියක් ඇති කර පුළුවන්. පළවෙනි එක නුවණ නැතිකම. එයාට කියනවා අශෘතවත් පෘතජ්ජනයා කියලා. දෙවැනි එක  සිහිය නැතිකම. එයා ශෘතවත් ශ්‍රාවකයෙක් වුණට සිහිය දියුණු කරලා නැති කෙනෙක්. ඊළඟ කාරණය තමයි, සමහර අයට තරහ යනකොට මතක් වෙනවා "මං තරහ ගන්න හොඳ නැහැ. කාටවත් රිදෙන්න කථා කරන්න හොඳ නැහැ. මට වගේ ම තමයි ඒ අයටත් රිදෙනවා" කියලා. හැබැයි එහෙම මතක් වුණත් ඒ අයට තමන්ගේ තරහ පාලනය කරගන්න බැහැ . තරහ ඒ අයව අභිබවා යනවා. ඒකට කියනවා වීර්යය නැතිකම කියලා. මේ කියපු කරුණු තුන ගැන හෙමිහිට කල්පනා කරලා බලන්නකො. ඒකයි භාග්‍යවතුන් වහන්සේ මේ⁣ ලෝකයට ධර්මය දේශණා කරනකොට (සතිපට්ඨාන ආදී සූත්‍ර ධර්ම වල) ආතාපි, සම්පජානෝ, සතිමා කියලා සිහිය, නුවණ, වීර්යය කියන කරුණු තුන අවධාරණය කළේ. තරහ යන්නේ ම ඔය කියපු කරුණු තුනේ වර්ධනය මදිකම නිසා. ඒ වගේමයි මතක තියාගන්න ඕන, ධර්මයේ හැසිරෙනවා කියන්නෙත් ඔය කියන කාරණා තුන ක්‍රමාණුකූලව වර්ධනය කරනවා කියන එකයි.

🌟 එහෙමයි ස්වාමීන් වහන්ස. ස්වාමීන්වහන්ස, ක්ෂණික කෝපය ගැන ඔබ වහන්සේට මොකද හිතෙන්නෙ ? ඊට සමාවක් තියෙනව ද ?

      මේක නම් හරිම භයානක එකක්. දැන් ලෝකයා මේක සාධරණීකරණය කර ගන්නවා. මං ඉතින් සෝඩා බෝතලේ කැඩුවා වගේනේ ඕවා ගණන් ගන්න එපා කියලා. කෙනෙකුට තරහා වගේ අකුසල ධර්මයක් හිතේ ඇති වුණා ම ඒ අකුසල හිතත් එක්කම සම්ප්‍රයුක්ත වෙලා ඒ හිතේ ම චෛතසික ධර්ම 04ක් අනිවාර්යයෙන් ම ඇති වෙනවා. ඒවට කියනවා අකුසල සාධාරණ චෛතසික කියලා. ඒ තමයි මෝහය, අහිරිකය, අනොත්තප්පය සහ උද්ධච්චය කියන හතර.⁣ මෝහය කියන්නේ ඇත්ත වැහෙන ගතිය. තරහ ආපු වෙලාවට ලෝකයේ තියෙන ඇත්ත අපට අමතක වෙනවා. අනේ මේ මාව වදපු අම්මා නේද, හදපු තාත්තා නේද කියලා පවා අමතක වෙනවා. අම්මව තාත්තව පවා මරන්න යොමු වෙන්නෙ ඒකයි. මේක අානන්තරීය පාප කර්මයක්. ඒකාන්තයෙන් නිරයට යන්න වෙනවා කියලා දන්නවා. නමුත් තරහ ගිය වෙලාවට ඔය ඔක්කොම අමතක වෙනවා. ඊළඟට අහිරික කියන්නෙ ලැජ්ජාව නැති බව. බලන්න තරහ ගිය වෙලාවට කිසිම ලැජ්ජාවක් නැහැ. බස් එකේ කියලා, කෝච්චියේ කියලා නැහැ. ටයි කෝ⁣ට් දාගත්තු වැදගත් මහත්වරු, සුවඳ ගහගෙන හිමින් හිමින් පියවර මනින නෝනලා කෑගහන්නේ ⁣⁣යාචකයො වගේ. ප්‍රේතයො වගෙ. භූතයො වගේ. එයින් අදහස් කළේ ඔවුන් මිනිසත් බව ඉක්මවා යනවා කියලයි. තමන්ගේ දරුවෝ ඉන්නව නේද කියලා ගානක් නැහැ. දරුවො කිව්වොත් "අම්මෙ කෑ ගහන්න එපා වටපිට අයට ඇහෙයි" කියලා "ඇහෙන්න තමයි කියන්නෙ මම" කියල පවා කියනවා. ඇයි ලැජ්ජාව නැහැ. ඊළඟට අනොත්තප්ප කියන්නෙ බය නැති බව. තරහ ආපු වෙලාවක තමන්ගෙ දරුව මතක් කළොත් එහෙම "අම්මෙ පරුෂ වචන කියන්න එපා, අපයේ යයි" කියලා මොකද ඒ අම්මා කියන්නේ. "යන අපායක මමනෙ යන්නේ උඹ පලයන් යන්න" කියනවා. ඇයි මේ? අපායට වත් බය නැති වෙනව අකුසල ධර්මයක් හිතේ නැගුණු වෙලාවට. ඊළඟට උද්දච්චය කියන්නේ නොසන්සුන් බව. තරහ ආපු වෙලාවට නොසන්සුන් හරියට. ඒ නිසා ක්ෂණික කෝපයට නීතියෙන් සමාව තිබ්බත් නිරයෙන් නම් සමාවක් නැහැ. සධාරණීය කළාට වැඩක් නැහැ. දුක් විඳින්න වෙන එක නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසයි මේක භයානක. ඒ නිසා මෙහි භයානක බව දකිමින් මුලින් ම දැඩි ව අධිෂ්ඨාන කරගෙන හෙමිහිට හෙමිහිට පුරුදු කරන්න ඕනේ. මම අද ඉඳන් මදුරුවො මරන්නේ නැහැ කියලා අධිෂ්ඨාන කරපු කෙනාට තමයි ටික කාලයක් යනකොට මදුරුවෙක් මරන්නේ ම නැති ගානට එන්න පුළුවන්. අපෙ හිත් වල තරහ යන ස්භාවය තියෙනවා කියලා දැනගෙන ක්‍රමාණුකූලව තරහ යන්නෙම නැති ගානට පුරුදු කළ යුතු වැඩ පිළිවෙලක් තියෙනව ධර්මයේ. ඒක කරගන්න ඕන. ඒකට කියනවා භාවනාව කියලා.

       අනික තමයි ලද දෙයින් සතුටු වීම කියන ගුණය තමන්ගේ ජීවිත වලට පුරුදු කර ගන්න ඕන. එතකොට නොලැබුණු දේවල් ගැන පසුතැවීමක් ඇතිවෙන්නෙ නැහැ. ගැටෙන ස්වභාවය අඩුවෙනවා. තමන්ගේ අවට වට පිටාවේ ඉන්න අයගේ නුගුණ කල්පනා නොකර තියෙන පුංචි හරි ගුණය දැකල සතුටු වෙන්න ඕනේ. ඒකම මෙනෙහි කරන්න ඕනේ. අපි හැමෝම ලඟ වැරදි තියෙනව නේද කියල හිතලා අඩුපාඩු අමතක කරලා ඒව හදාගන්න ඒ අයට උදවු කරන්න් ඕනේ. තම තමන්ගේ සීලය ශක්තිමත් කරගන්න උත්සහ කරන්න ඕනේ. හිතේ නොවිසුරුණු ගතිය නැති කරගන්න භාවනාවක් පුරුදු කරගන්න ඕනේ. මොකද විවිධ කැලඹීම් ඉස්සරහ නොසෙල්වී ඉන්න ශක්තිය ලැබෙන්නේ හිතේ තියෙන නොවිසුරුණු ගතිය දුරු කරලා ඒකාග්‍ර හිතකින් යුක්ත වුණු උතුමන්ට. ඒ ඒකාග්‍ර භාවය ලැබෙන්නේ යම් මට්ටම්ක හෝ සීලයකින් යුක්ත අයෙක්ට. ඒ නිසයි කිව්වේ සීලය, සමාධිය යම් මට්ටමකට හෝ පුරුදු කර ගත යුතුයි කියලා.

🌟 එහෙමයි ස්වාමීන් වහන්ස. ස්වාමීන්වහන්ස, මේ තරහ ඇති වීම පාලනය කරන්න මොනවද අපි කරන්න ඕනේ ?


       මුළු ලෝකයම අරමුණු කරලා ලෝකයම කෙරෙහි මෛත්‍රී සහගත හිතක් ඇති කර ගත යුතුයි. ඒ සඳහා මෛත්‍රී භාවනාව වගේ භාවනවක් උපයෝගී කර ගත හැකියි. අපි ඉදිරියේදී ඒ ගැන දීර්ඝ වශයෙන් කථා කරමු. දැනට මේ ප්‍රමාණවත්. හැම දෙනාටම තෙරුවන් සරණයි.

මේ උතුම් ධර්ම දානමය කුසල ශක්තිය පිංවන්ත ස්වාමීන්වහන්සේටත්, ඔබ අපි සියළු දෙනාටත් , ඔබ අප නමින් මිය පරලොව යන්න⁣ට යෙදුණු සියළු දෙනාටත්, සියළුම සම්‍යක් දෘෂ්ඨික දෙවි දේවතාවන් වහන්සේලාටත්  සැප ප්‍රතිපදාවෙන්ම උතුම් ධර්මාවබෝධය ලැබීම පිණිසම හේතු වේවා යි පතන්නෙමු.



2 comments:

  1. Great blog!!

    If you like, come back and visit mine:
    http://albumdeestampillas.blogspot.com

    I would really like to receive a visit from your country!

    Thanks,
    Pablo from Argentina

    ReplyDelete
  2. Thank you very much for first comment on our blog..and i allready saw your blog..it's very nice and see that it made very hard..congratulation and all the best to keep it continue..

    ReplyDelete